ඓතිහාසික අනුරපුරය

එන්න ඓතිහාසික අනුරපුර අසිරිය විදින්න. ඔබට ඡය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි..................

මිරිසවැටිය දාගැබ



මිරිසවැටිය දාගැබ

ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දකි. තිසා වැව හා බසවක්කුලම වැව (අභය වැව) අතර පිහිටා ඇත. මෙය ඉදිකිරීමට හේතු වූ කාරනය ද අපුරු එකකි. රජතුමා තිසා වැවට දිය නෑමට ගියේ ජය කුන්තය යම් තැනක සිටුවාය. මහත් පුදුමයට මෙන් ආපසු ආ රජුට සර්වඥ ධාතු සහිත ජය කුන්තය සෙලවීමට පවා නොහැකි විය. මේ අසිරිමත් සිදුවීම හේතුවෙන් බැති සිත් වැඩූ රජු එය වට කොට ස්ථූපයක් ගොඩනංවා ඒ වටා ආරාමයක්ද කරවීය. රජු භික්ෂුන්ට පුජා නොකොට කිසිවක් ආහාරයට ගෙන නැත. එසේ වුව අතපසුවීමකින් මිරිස් මාළුවක් ජුජා කිරීමට නොහැකි විය. තමා මිරිසවැටිය ගොඩනැගුවේ එම වරද නිවැරදි කර ගැනීමට යයි රජු පසුව පවසා ඇතැයි මහාවංශය කියයි. මෙම දා‍ගැබ ප්‍රතිසංස්කරණයෙහි ලා දායක වූ රජවරුන් අතර පළමුවෙනි ගජබාහු, වෝහාරික තිස්ස, පස්වන කාශ්‍යප, පළමුවෙනි පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල යන රජවරුන් මුල් තැනෙහිලා සැළකිය හැකිය. එකල මිරිසවැටිය අඩි 200 ක් උසට තනා තිබුණ ද අනුරාධපුරය ජන ශුන්‍යව පැවැති ශත වර්ෂ 07 ක පමණ කාලයේ දී මෙම දාගැබට අත් වූයේ ද අනෙක් ඒවාට අත් වූ ඉරණමය. කෙසේ වුව භික්ෂුන් වහන්සේලාට දන් පිරිනැමීම සඳහා භාවිතා කළ ගල් ඔරුවක් ද, බෝධීඝරයක් හා පටිමාඝරයක නටබුන් ද අද වන තුරු ශේෂ වී තිබීම භාග්‍යයකි. වර්තමානයේ දි චෛත්‍යය නැවත සාදන ලද්දේ පැරණි ආකෘතිය වටකරමිනි. එසේ වුව 1987 වර්ෂයේ දි එය සම්පූර්ණයෙන් ම කඩා හැළුණි. එයින් සිදු වූයේ වාහල්කඩ සියල්ල විනාශ වී යාමය.
වර්තමාන දාගැබෙහි උස අඩි 192 කි. රාජානුග්‍රහය දුටුගැමුණු රජු එළාර සමග යුද්ධයෙන් ජය ගෙන අභිෂේකය පවත්වා හත්වෙනි දින තිසා වැවේ ජලක්‍රීඩාවට ගියේය. ඒ අවස්ථාවේ දී ඔහුගේ සධාතුක ජය කොන්තය දැනට මිරිසවැටි ස්ථූපය තිබෙන තැන තබා තිබුණි. ජල ක්‍රීඩාවෙන් පසු සවස ආපසු යාමට සැරසී ජය කොන්තය ගැනීමට ගිය විට එය එතැනින් සෙලවීමට නොහැකි විය. එය තැන්පත් කොට ඔහු එහි මිරිසවැටි ස්ථූපය තිබෙන තැන තනා තිබුණි. සංඝයාට කොටසක් පුජා නොකොට තමන් අනුභව කළ මිරිස් මාළුවක් හෝ සම්බලයක් ගැන සිහිපත් කළ රජු එයට දඩුවමක් වශයෙන් මේ ස්ථූපය කළ බව මහාවංශය කියයි. මිරිසවැටි යන නම ස්ථූපයට ලැබුණේ මේ නිසා යයි කියනු ලැබේ. රජු ස්තුපය තනා ඊට පසු මිරිසවැටි විහාරය හෙවත් සංඝාරාමය ද කරවීය. ඒ සඳහා අවුරුදු 03 ක් ගතවිය. අවසානයේ දී පවත්වන ලද උත්සවයට භික්ෂුන් වහන්සේලා ලක්ෂයක් ද භික්ෂුණින් වහන්සේලා අනුදාහක්ද සහභාගී වූහ. එම රැස්වීමේ දි රජු තමන් සංඝයා අමතක වීමෙන් ගත් මිරිස් මාළුව හෝ සම්බලය වෙනුවෙන් මෙම ස්ථූපය හා විහාරය තනා සංඝයාට පුදන බව කීය. රජු පසුව අතපැන් වත් ‍කොට විහාරය සංඝයාට පිදුවේය. බටහිර වාහල්කඩේ උස කුළුණුවල මුදුනේ ඡත්‍රය යට තිබෙන පුජනීය වස්තුව හා උපකරණය සධාතුක ජය කොන්තය විය යුතුයි. දුටුගැමුණු යුද්ධයේ දී මෙම ජය කොන්තය භාවිතා ‍කෙළේ දිනපතා බුදුන් වැඳිම නොකඩවා කරගෙන යාමටය. ධාතු නිධාන‍‍යේ දී බොහෝ අගනා වස්තු ධාතුගර්භයෙහි තැන්පත් කළ බව වාර්තා වෙයි. ස්ථූපයේ මුලින් තිබුණ උස ගැන මහාවංසයේ සඳහන් නොවේ. පසුව එය රියන් 80 (අඩි 160 ක්) උසට ප්‍රතිසංස්කරණය කරන ලදී. 1 වෙනි ගජබාහු රජු ස්ථූපයට කංචුකයක් කරවීය. වෝහාරික තිස්ස රජු ඡත්‍රය ප්‍රතිසංස්කරණය කොට පවුර කරවිය. පස්වෙනි කස්සප රජු ස්ථූපය හා විහාරයේ සියළු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරවිය. පළමුවෙනි පරාක්‍රමබාහු රජු ස්ථුපය රියන් 80 ක් උසට කරවීය. නිශ්ශංකමල්ල රජු මිරිසවැටියේ සංරක්ෂණ වැඩ කළ බව වාර්තා වෙයි. වාහල්කඩ මිරිසවැටි දාගැබ හතරපැත්තේ වාහල්කඩ සතරක් විය. තරමක් හොඳ තත්වයක පැවතුනේ බටහිර වාහල්කඩ පමණි. ඉදිරියට පන්නා තනන ලද විශාල කොටසකින් හා දෙපස පස්සට පන්නා තනන ලද පටු කොටස් දෙකකින් යුත් වාහල්කඩ දෙපස කොට කුළුනු දෙකක් ද ඊළඟට ඇතුළතින් උස කුළුණු දෙකක් ද වෙයි. කොටු කුළුණුවල ඉදිරිපස මුදුනේ අඩකව දෙකක් හා ඒ අතර රේඛා දක්වා තිබේ. ඊට යටින් පතුල දක්වා සිරස් තීරූ දැක්වේ. ඊළඟට ඇති උස් කුළුණේ වාමනයකු හිසමත තබා ගත් කලසකින් ඉහළට නැගෙන කල්පවෘක්ෂයක් හා එය මුදුනේ ඡත්‍රය යට මල් දම් වලින් පුදන ජය කොන්තය වෙයි. කුළුණ මුදුනේ සිංහ රූපය වෙයි. බටහිර වාහල්කඩේ මෙම කුළුණ උතුරුවාහල්කඩෙන් ගෙන තිබේ. නැතහොත් සිංහ රූප ගෙන ඇත්තේ උතුරු වාහල්කඩෙනි. බටහිර වාහල්කඩට අයත් සිව්පාවා අශ්වයා ය. යට සිට ඉහළට ඇති කැටයම් මෝස්තර හා බොරදම් මෙසේය - යටින්ම බොරදම් වෙයි. ඊට උඩින් හිස් ප්‍රදේශයකි. ඊළඟට ලීස්තර බොරදම් ද ඊට උඩින් ඇත් හිස් හා පද්ම සැරසිල්ලක් ද වෙයි. ඊට ඉහළින් ලීස්තර බොරදම් වෙයි. නැවත හිස් ප්‍රදේශයකට පසුව පියුම් පෙති මෝස්තරය සහිත බොර‍දමකි. එයට ඉහළින් හිස් තීරුවකි. අනතුරුව මකර මුඛ හා පද්ම සැරසිල්ල වේ. යළිත් ලීස්තරවලට උඩින් හිස් තීරයකි. එයට ඉහළින් කවාට මෝස්තරය සහිත ලීස්තර බොරදමකි. අනතුරුව යළිත් හිස් තිරුවක් ද ඊට ඉහළින් උඩ හා යට ලීස්තර බොරදම් මැද සිව්පාව්න් ගෙනයන මිනිසුන් සතර දෙනෙකි. ඊට ඉහළින් යළිත් ලීස්තර බොරදම් ද අනතුරුව ඊට යාබදව බෞද්ධ ගරාදි වැට මෝස්තරය ද වෙයි. මෙයින් ඉහළ ගඩොලින් කළ කොටසක අවශේෂ වෙයි. එහි මුලින් පැවති කැටයම් හා චිත්‍ර කිසිවක් වාර්තා නොවෙයි. සාමාන්‍යයෙන් වාහල්කඩවල කැටයම් රහිත හිස් තීරූවල චිත්‍ර තිබුණි. වාහල්කඩ පිටුපස හා කොන්වල හංස රූප පෙළක් විය. සිවුපා පන්තියේ ඇතා, අශ්වයා, ගවයා සහ සිංහයා වේ. ඔවුන් එක් අතකට ගමන් කරන විලාශයෙන් කැටයම් කර තිබේ
http://www.paramparikadenuma.lk

ලෝවාමහාපාය



ලෝවාමහාපාය


ලෝවාමහාපාය ඉදි කරන ලද්දේ දුටුගැමුණු රජතුමා (ක්‍රි.පූ.161-137) විසිනි. මෙය මහා විහාරික භික්ෂූන්ගේ උපෝසථ කර්ම හා බඩු භාණ්ඩ තැන්පත් කිරීම සඳහා ඉදි කරන ලද්දක් බව සඳහන්ය. මිහිඳු මා හිමියන් විසින් පෙන්වා දෙනු ලැබූ ස්ථානයක ඉදි කරන ලද මෙය එම නම ලැබූයේ එහි පියස්ස තඹ ලෝහවලින් වසන ලද හෙයිනි. මහාවංශයට අනුව ‍ලෝවාමහාපාය උසින් ද, දිගින් ද, පළලින් ද අඩි 1000 ක් විය. එය ඉදි කරන ලද්දේ මහල් නවයක් වන්නටය. එක් එක් මහලෙහි කුළු ගෙවල් සියය බැගිනි. ශෛලමය ස්ථම්භ පේළි 40 ක් මත ගොඩනැගිල්ල ඉදි කරන ලද අතර එක් එක් පේළියක ටැම් 40 ක් වූ බව මහාවංශය කියයි. මේ අනුව බලන කල ලෝවාමහාපාය ඉතා දර්ශනීය එකක් වූ බව පිළිගත හැකිය. සද්ධාතිස්ස රජ සමයේ දී මෙම සුවිශේෂී ගොඩනැගිල්ල ගින්නෙන් දැවී විනාශ වීම ඛේදවාචකයකි. එසේ වුව රජු එය සත්මහල් කොට යළිත් තැනවූයේය. භාතිකාභය රජු එය පිළිසකර කරවූයේ සියක් අවුරුද්දකට පසුවය. කෙසේ වුවද කාලයෙන් කාලයට ගොඩනැගිල්ලේ උස අඩු වන්නට වූ බව පැහැදිලි කරුණකි. ඒ අනුව ලෝවාමහාපාය පස් මහල් කොට සෑදවූයේ පළමුවෙනි සිරිනාග (ක්‍රි.ව.196-215) රජුය. එසේ වුව ජෙට්ඨතිස්ස රජු නැවතත් එය සත් මහල් කරවීය. (ක්‍රි.ව.276-303) අතර රජ කළ මහසෙන් රජු මහා විහාරකයින් කෙරෙහි උරණව ලෝවාමහාපායෙහි පවුරු පදනම් පවා මුලිනුපුටා දැම්මවීය.
ඔහු එපමණකින් නොනැවතී එයට අයත් වූ දෑ අභයගිරි වාසීන්ට දී ගොඩනැගිල්ල තිබූ භූමිය නඟුලින් සාවා උඳු වැපිරීමට ද කටයුතු කිරීම මහත් අපරාධයකි. එසේ වුව කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු (303-331) විනාශ වූ ගොඩනැගිල්ල යළි ගොඩනැංවීම ජාතියේ භාග්‍යයකි. ඉන්පසුව ධාතුසේන රජු ද, පළමුවන හා සිව්වන අග්‍රබෝධි රජවරුන් ද, මානවම්ම රජු ද, ලෝවාමහාපාය රැකගැනීමට කටයුතු කිරීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. (ක්‍රි.ව.833-853) අතර රජ කළ පළමුවැනි සේන රජුගේ කාලයේ දී මෙරට ආක්‍රමණය කළ දකුණු ඉන්දීය පාණ්ඩ්‍යයන් නිසා ලෝවාමහාපායෙහි විනාශය නැවතත් සිදුවිය. එසේ වුවද, දෙවන සේන රජු (ක්‍රි.ව.853-887) එය නැවතත් පිළිසකර කොට ඒ තුල ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාවක් ද තැන්පත් කළ බව සඳහන්ය. ඉන් පසුව මෙහි වර්ධනය සඳහා කටයුතු කළ රජවරුන් අතර පස්වන කාශ්‍යප රජු ද (ක්‍රි.ව.914-923) සිව්වන මහින්ද රජු ද (ක්‍රි.ව.956-972) අමතක ‍නොකළ යුතුය. ලෝවාමහාපාය නැවතත් විනාශ මුඛයට ඇදවැටු‍ණේ ද නගරය කොල්ල කෑමට ලක් වූයේ ද එසමයෙහි වූ සොළීන්ගේ ආක්‍රමණය හේතුවෙනි. අනුරාධපුර නගරය වල් බිහි වන්නට වූයේ එතැන් සිටය. එසේ වුව (ක්‍රි.ව.1153 -1186) අතර රජ කළ පරාක්‍රමබාහු නම් ශ්‍රේෂ්ඨ නරපති තෙමේ මෙම පුණ්‍ය ගොඩනැගිල්ලෙහි ටැම් 1600 යළි ස්ථාපනය කිරීමට කටයුතු කිරීම ප්‍රශංසා කටයුත්තකි. එපමණකින් නොනැවතුණ ඔහු එහි ඉදිකිරීම් ද අඩකින් නිම කළේය. අද දින අපට දැක ගැනීමට ඇත්තේ එම ස්තම්භයන්ය. මෙම මාහැඟි ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා දැව වර්ගයක් (කිතුල් හෝ තල්) භාවිතා කළ බව ද අනාවරණය වී තිබේ. කෙසේ වුව ඒවා මත අඳිනු ලැබූ චිත්‍ර විනාශ වූයේ සද්ධාතිස්ස රජු දවස ගිණි ගැනීම හේතුවෙනි.
ශ්‍රී ‍මහා බෝධියත් රුවන්වැලි සෑයත් අතර නැගෙනහිර පැත්තට බරව ලෝවාමහාපායේ නටබුන් පිහිටා තිබේ. එක් පෙළකට මහා ගල් කුණු 40 ක් බැගින් පේළි 40 ක මුල් ගල් කණූ සංඛ්‍යාව 1600 කි. දැනට පෙනෙන අන්දමට ඒ ගල් කණු එසේ සිටුවා ඇත්තේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ නියමය පරිදිය. ගල් කණු තිබෙන භුමිය හරි හතරැස් වෙයි. යටින් ඇති අත්තිවාරම එක් පැත්තකට අඩි 200 බැගින් වෙයි. මුල් ලෝවාමහාපායේ පළල අඩි 200 ක් විය. ගල් කණුවල ප්‍රමාණය ගැන සළකන විට ඒවා මත විශාල ගොඩනැගිල්ලක් වූ බව සිතාගත හැකිය. ඉතා මෑතකදී ගල් කණු මත තනි මහලනික් යුත් පොහොය ගෙයක් තනා තිබේ.
රාජානුග්‍රහය
බුදු දහම ශ්‍රී ලංකාවට ලැබුණු කාලයේම දේවානම් පියතිස්ස රජතුමා විසින් මිහිඳු හිමියන්ගේ උපදෙස් පරිදි දැනට ලෝවාමහපායේ නටබුන් තිබෙන තැන භික්ෂුන්ට සංඝකර්ම කිරිම සඳහා උපෝසථාගාරයක් කරවීය. ඒ වන විට එම භුමිය හඳුන්වන ලද්දේ 'මහාමුචල මාලක' යන නමිනි. පසුව දුටුගැමුණු රජතුමා මෙහි සුවිසල් පහයක් කරවිය. එය චතුරශ්‍රාකාර පහයකි. මහල් නවයකින් යුත් එහි එක් පැත්තක තිරස් අතට රියන් 100 ක් එනම් අඩි 200 ක්ද, උසින් රියන් 100 ක් (අඩි 200) ද වූ අතර ජනේල 100 ක්ද කාමර දහසයක් ද විය. ක්‍රි.පූ. දෙවන සියවසේ ඉන්දියාවේ පවා එවැනි විශාල ගොඩනැගිල්ලක් වූ බවකට සාධක නැත. මහාපරිමාණ ගොඩනැගිලි තැනීම නිසා දුටුගැමුණු රජු ශ්‍රී ලංකාවේ රජුන්ගෙන් ප්‍රධාන තැනක් හිමි කරගෙන තිබෙන්නේ මේ ලෝවාමහාපාය නිසයි. උපෝසථගාරයක්, සංඝයා නතරව සිටින ගොඩනැගිල්ලක් වශයෙන් පමණක් නොව ධර්ම ශාලාවක් වශයෙන් වෙන් කරන ලද කොටසකින් යුත් මෙහි අගනා පබළු, අෂ්ට මංගල, ලියවැල්, සිව්පා, පන්තිවලින් ද සරසන ලද මණ්ඩපයක් ද වූ බව වාර්තා වෙයි. ඒ මණ්ඩපය ලෝවාමහාපාය පිහිටි භුමියේම තනා තිබුණකි. එහෙත් මෙතෙක් එහි නටබුන් පවා සොයාගෙන නැත.
ලෝවාමහාපාය යන නම එයට ලැබුණේ වහළ තඹ උළු වලින් වසා තිබුණු නිසයි. ලෝවාමහාපාය නමැති ඒ අසමාන ගොඩනැගිල්ල දුටුගැමුණු රජුට පසුව රාජ්‍යයට පත් සද්ධාතිස්ස රජ දවස ගින්නෙන් විනාශ විය. අනතුරුව සද්ධාතිස්ස රජු විසින් එය සත්මහලකින් යුක්ත ව නැවත කරවීය. භාතිකාභය රජු එය ප්‍රතිසංස්කරණය කරවිය. ආමණ්ඩගාමිණි අබය රජු එයට මැද මිදුලක් සහ මුඛ මණ්ඩපයක් (ඉස්තෝප්පුව) එක් කළේය. ඊට අමතරව මැණික්වලින් කරන ලද සැරසිලි සහිත මණ්ඩපයක් ද ඔහු කරවීය. දෙවැනි සිරිනාග ලෝවාමහාපාය මහල් පහක් වනසේ ප්‍රතිසංස්කරණය කරවීය. ගෝඨාභය රජු එහි කුළුණු මාරු කරවීය. පළමුවෙනි ජෙට්ඨතිස්ස රජු සත් මහල් පහයක් වන සේ අළුතින් මහල් දෙකක් එයට එක් කළේය. මහාසේන රජු ලෝවාමහාපාය මුළුමනින්ම විනාශ කොට එහි ගොඩනැගිලි ද්‍රව්‍ය අභයගිරි විහාරයේ ගොඩනැගිලි තැනීමට යෙදවිය. ප්‍රාසාද භුමියෙහි ඔහු උඳු වැපිරීවීය. ඔහුගේ පුත්‍ර කිත්ති සිරිමේඝවන්න ලෝහ ප්‍රසාදය නැවත කරවීය. ධාතුසේන රජු එය අළුත්වැඩියා කරවීය. පළමුවෙනි අග්ගබෝධි රජු එහි මැද කොත අළුතින් කරවිය. මානවම්ම රජු එය අළුත්වැඩියා කරවීය. පාණ්ඩයෝ ගොඩනැගිල්ලේ කොටසක් විනාශ කර එහි තිබුණු අගනා දේ පැහැර ගෙන ගියහ. දෙවැනි සේන රජු එය නැවත කරවා එහි රන් පිළිමයක් ද තැන්පත් කරවිය. පස්වෙනි කස්සප රජු එය අළුත්වැඩියා කරවා කොතක් ද සවි කරවීය. හතරවෙනි මහින්ද රජු ලෝකඩ වලින් කරන ලද වැඩ, අළුත්වැඩියා කරවීය. දහවෙනි ශතවර්ෂයේ දි ආපසු සොළින් විසින් ගොඩනැගිල්ල විනාශ කරන ලදී. ඊට පසු පළමුවෙනි පරාක්‍රමබාහු රජු එහි කුළුණ නැවත කෙළින් සිටුවා ගොඩනැගිල්ලේ කොටසක් ප්‍රතිසංස්කරණය කරවීය. අද දක්නට ලැබන්නේ එසේ ප්‍රතිසංස්කරණය කළ කුළුණු පමණි. එම කණු මත මෑතකදී තනන ලද කුඩා උපෝසථාගාරයක් වෙයි.ලෝවාමහාපාය අවට ප්‍රාසාද 32 ක් විය. ඒවා කරවන ලද්දේ ඛල්ලාටනාග රජු විසිනි. අභයනාග රජු මණ්ඩපයක් කරවීය
http://www.paramparikadenuma.lk/