ඓතිහාසික අනුරපුරය

එන්න ඓතිහාසික අනුරපුර අසිරිය විදින්න. ඔබට ඡය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි..................

අටමස්ථානය පිළිබඳ ඉතිහාසය

අටමස්ථානය පිළිබඳ ඉතිහාසය



බෞද්ධයන්ගේ වන්දනාමානයට ලක් වු ප්‍රධාන සිද්ධස්ථාව අටක් අටමස්ථාන යන නමින් හැදින් වේ. අටමස්ථාන යනු අෂ්ට මහා ස්ථාන යන්නෙහි විකෘතියක් සේ පෙනේ. මේ ස්ථාන පිළිබද නාමාවලියෙන් කලින් කළ ඇතැම් ස්ථාන බැහැර වු බවත් ඒ වෙනුවට වෙනත් ස්ථාන ඇතුළත් කර ගත් බවත් පොතපතින් පෙනේ. ලක් දිව බුදු සසුන පිහිටු වීම සදහා පැමිණි මිහිදු මහරහතන් වහන්සේගේ සම්මානයට ලක් වු ස්ථාන අට මුලින්ම අටමස්ථාන සේ සැළකිය හැක. දෙවනපෑතිස් රජතුමා විසින් මිහිදු හිමියන්ට මහමෙවුනා උයන පිළිගැන්වීමේදී රන් කෙන්ඩියක් වගුරවන ජලය පතිත වීමෙන් භූමිකම්පනය සිදු වු ස්ථානය හා මිහිදු මහරහතන් වහන්සේ විසින් ඉසින ලඳ මල් පතිත වීමෙන් පොලොව කම්පිත වු ස්ථාන සත ද යථෝක්ත ස්ථාන අටට ඇතුළත්ය.

           මහාවංශ දීපවංශය සිංහල බෝධීවංශය යන ග්‍රන්ථවලට අනුව ඒවා මෙසේය.

   1.මහා මේඝවන සංඝාරාමය (තිස්සාරාමය)
    2.සංඝයාගේ කර්මමාලක සීමාව                                           

    3.ජත්තාගර පොකුණ
    4.මහා බෝධීය පිහිටුවන්නාවු ස්ථානය
    5.සංඝයාගේ පොහෝ ගෙය
    6.සංඝයාට උපන් ලාභය බෙදන ස්ථානය
    7.චතුස්ශාලාව
    8.රත්නමාලි චෛත්‍ය භූමිය

එහෙත් ඉහත සදහන් ග්‍රන්ථවල මේ ස්ථාන අටමස්ථාන යනුවෙන් පැහැදිලිව හදුන්වා නැත.
පළමුවෙන්ම අටමස්ථානයක් ගැන සදහන් කරන පුජාවලී කතුවරයානෝ
 
  

    1.අනුරාධපුරයේ දකුණු මහා සෑය පිහිටි තැන
    2.මහමෙවුනා උයන මැද ශ්‍රී මහා බෝධීය පිහිටි තැන
        3.ලෝවාමහාපාය පිහිටි තැන
        4.පිරිත්තලා ගෙය පිහිටි තැන
        5.දන්තාධාර නම් පොකුණ පිහිටි තැන
        6.ථුපාරාමය පිහිටි තැන
        7.පතෑස් භූමීයේ රුවන්මැලි මහා සෑය පිහිටි තැන
        8.මිහින්තලයේ මහසල සෑය පිහිටි තැන

           යන මේ අටමස්ථාන පුර්ව බුදුවරයනුදු වැඩ උන් බිම් හෙයින් ගෞතම බුදුරජාණන් වහන්සේද ධ්‍යාන සුවයෙන් එතැන්හි වැඩ උන් බව සදහන් කරති.
           

        මේ අනුව පුජාවලියේ සදහන් ථුපාරාමය හා මිහින්තලේ මහසලසෑය සද්ධර්මලංකාරයෙන් බැහැර වී ඒ වෙනුවට චතුස්ශාලාව හා මහා භෝජන ශාලාව ඇතුලත් වි ඇති බව පෙනේ. එහෙත් එම ග්‍රන්ථයේම අන් තැනක දැක්වෙන නව මහා ස්ථානයන්ට පුජාවලියේ සදහන් ස්ථාන අට සහ රුහුණු ජනපදයේ දීඝනඛ පිහිටි තැනද ඇතුළත් කර තිබේ.

     තෙවන වරට ලක්දිවට වැඩි ගෞතම බුදුන් වහන්සේ මුහුර්තය බැගින් සමවත් සුවයෙන් වැඩසිටි ස්ථාන අටක් ගැන සද්ධර්මරත්නාකාර ග්‍රන්ථයෙහි කතුවරයා සදහන් කරයි.පුජාවලියේ දැක්වෙන ස්ථාන සතක්ම එහිද ඇතත් දකුණු මහා සෑය පිහිටි තැන වෙනුවට රුවන්පාය පිහිටුවන්නාවු පතන්භූමි ස්ථානය යොදා තිබේ. රුවන්පාය යනු රත්නප්‍රාසාදය විය හැක. මේවාද අටමස්ථාන යැයි පැහැදිලිව දක්වා නැත.

   මින් අනතුරුව එළබි කාලයේ ඇති වු සටන්, සතුරු ආක්‍රමණ, සතුරන්ට රට යටත්වීම සිංහල බෞද්ධ ජනතාව අන්‍ය ප්‍රදේශ වලට සංක්‍රමණය වීම යන හේතු නිසා වල්බිහිවී ගරා වැටුණු අටමස්ථාන සමහරක් පිහිටි තැන්වත් සොයා ගැනීමට නොහැකි විය.             



          මේ නිසා සොයා ගත නොහැකි ස්ථාන අත්හැර දමා ඒ වෙනුවට වෙනත් ස්ථාන ඇතුළත් කොට නව නාමාවලියක් සකසන්නට සිදු විය.මහනුවර යුගයට අයත් නම්පොතනැමති ග්‍රන්ථයේ එවා දක්වා ඇත්තේ 

           1.ශ්‍රී මහා බෝධීය                        2.ලෝවාමාප්‍රාසාදය

           3.මිරිසවැටිය                               4.අභයගිරිය

           5.ජේතවන විහාරය                      6.රත්නමාලී චෛත්‍ය

           7.ථුපාරාමය                                 8.මිහින්තලයේ ශෛල චෛත්‍ය

යන පිළිවෙලිනි.

       1872 – 11 – 20 දින ලංකාවේ මිනුම්පති විසින් සකස් කරන ලද සැලැස්මක අටමස්ථාන මෙසේ නම් කොට ඇත.

           1.ජේතවනාරාමය                          2.ලංකාරාමය

           3.ථුපාරාමය                                  4.අභයගිරිය

           5.ලෝවාමහාපාය                          6.ජයශ්‍රීමහා බෝධීය

           7.මිරිසවැටිය                                 8.රුවන්මැලි මහා සෑය

යන ස්ථාන අටයි.

1909 – 01 – 16 දින ලංකාණ්ඩුකාර එච්.ඒ. මැකලම් ආණ්ඩුකාරයා සහ අටමස්ථාන කොමිසම  විසින් පහත සදහන් ස්ථාන අටමස්ථානය සේ නම් කරන ලදී

        1.ශ්‍රී මහා බෝ මළුව                       2.ලෝවාමහාපාය

        3.රුවන්මැලි මහා සෑය                   4.අභයගිරි වෙහෙර                                  


    5.ථුපාරාමය                                   6.ජේතවනාරාමය

    7.ලංකාරාමය                                 8.මිරිසවැටිය

දැනට අටමස්ථාන ලෙස හැදින්වෙන්නේ යථෝක්ත ස්ථාන අටයි.

   මෙම අටමස්ථාන පිහිටා ඇත්තේ අනුරාධපුරයේ පුජා නගරය ඇතුළතය. මෙයින් ලෝවාමහාපාය වැදුම් පිදුම් කරන තැනක් නොවේ. ඒ වෙනුවට ඉසුරුමුණි විහාරය අටමස්ථානය සම්පුර්ණ කර ගැනීම වන්දනා කරුවන්ගේ සිරිතයි.